Sunday, July 21, 2019


                                      රූමස්සල හා බැදි ජනශ‍්‍රැතිය හා ජනප‍්‍රවාද


 රූමස්සල යනු ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර ප‍්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2 ක් පමණ දුරින් පිහිටි කදු පර්වත සහිත වනාන්තර භූමියකි. සුවිශාල තැනිතලා ප‍්‍රදේශයක් වන ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගරට ආසන්නව මෙවන් කදුවැටියක් පිහිටා තිබීම ඇදහිය නොහැකි කරුණක් බවයි.ඇතමුන් පවසන්නේ. කොටින්ම කිවහොත් රූමස්සල කන්ද එම ස්ථානයට ආගන්තුක කන්දකි. 

‘‘රූමස්සල’’යන නාමය රූ+මස්+සල යන වචන තුනට වෙන් කොට විග‍්‍රහ කල හැකි යැයිද, අරුත් වශයෙන් එය ‘ලස්සන කන්ද’ නමින් ව්‍යවහාර කළ හැකිය. මෙම කන්ද ඉංග‍්‍රීසි බසින් ‘බොනවිස්ටා’ ලෙස හැදින්වෙන අතර එහි අරුත ‘ලස්සන භූමිභාගය’ යන්නයි.

අතීතයේදී රූමස්සල ප‍්‍රපාතය අසල ගලක් මත රාත‍්‍රීයේදී මසුන් මරන්නන් රැස්වී ඇති බැවින් මසුන් මරන්නන් රුස්වෙන ගල යන අරුතින්  'මස්ස ගල’ රූමස්සල බවට පත්වු බවටද මතයක් පවතී. රාවණා රජු රූමස්සල කන්දේ සීතා කුමරිය සිරකර තබා තිබු ගල්ලෙන් දොරටුවෙහි වු දැවන්ත ගල්කුලක් ඔසවා සිරකර දැමු රාමා සීතාව බේරාගත් පුවත අනුව ‘රාම ඉස්සූ ගල’ යන අරුතෙන් ‘රාමස්සූගල’ ‘රූමස්ගල’ වී පසුව එය ‘රූමස්සල’ යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව තවත් කතාවකි. 

මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් විසින් රචිත ‘උපන්දා සිට’ නම් කෘතියේ ඔහු රූමස්සල පිළිබද මෙසේ සදහන් කොට ඇත.‘‘මා ඇසූ කට කථා අනුව රූමස්සල හිමාලයෙන් බිද වැටුණු කැබැල්ලකි. එහෙයින් එහි සිංහයන් ඇතැයි මම සිතුවෙමි. රාවණා විසින් ලංකාවේ සිරකර තබනු ලැබු සීතාගේ වුවමනාවක් උදෙසා හනුමා හිමාලය උස්සාගෙන ආවේය. සීතාට උවමනා කොළ , මුල් ගත් පසු හනුමා හිමාලය තිබුණු තැනට වැටෙන සේ විසි කරද්දී කෑල්ලක් ලංකාවේහි වැටිණි. රූමස්සල හනුමාගේ ඒ වික‍්‍රමයට දෙස් දෙන්නකි’’

ශ‍්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා රූමස්සල වෙනස්ම මතයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔහු පවසන්නේ මෙය උල්කාපාතයක් කඩාවැටීම නිසා නිර්මාණය වු භූ රූපයක් බවයි. රූමස්සල ආශි‍්‍රත ප‍්‍රදේශයේ පවතින්නේ ලෝකයේ කිසිම තැනක දැකිය නොහැකි පරිසර පද්ධතියක් බවත්, පෘථිවිය මත ඇති ගුරුත්වාකර්ෂණය වැඩිම ස්ථානයක් ලෙසද හදුන්වා ඇත.

දිගුව සහ සිහින්ව පිහිටි මෙම අසිිමත් කුඩා කදුවැටිය පුරාවට ඉතාමත් දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි වර්ග බොහොමයක් පවතින බව පැවසේ. මෙහි ඇති ඖෂධ පැළෑටි ගණන 150 ඉක්මවයි. රූමස්සල කදුවැටිය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති ජනප‍්‍රවාද ප‍්‍රමානයද සුලුපටු නොවේ. මෙම කදු මුදුන් වල පලතුරු ගස් ඇති අතර ඒවායේ ඉදුණු පලතුරු පවතී. විටෙක රූමස්සල කදුවැටිය තරණය කරන්නන් එහි අතරමං වු විට මෙම පලතුරු ආහාරයට ගත්විට ඔහුන්ට ඉදිරියට යෑමට මග පෑදෙන බවත් යළිත් මංමුලා නොවන බවත් විශ්වාසක් පවතී.

                                     
                                                    ගාල්ල නගරයට දිස්වන රූමස්සල කන්ද

රූමස්සල කදුවැටිය මෙම ස්ථානයට ආගන්තුකව ලැබුණු දෙයක් ලෙස දිස් වන බව මින් පෙරද සදහන් කර ඇත. මේ පිළිබදව ඇති ජනප‍්‍රවාද අතුරින් වඩාත් ප‍්‍රබලම මතවාදය වන්නේ රාමායනය මගින් ඉදිරිපත් කරනු ලබන මතය වේ. රාමායනය අනාවරණය කරන තොරතුරු ආශ‍්‍රයෙන් රූමස්සල කන්ද ආගන්තුක එකක් වන බව සනාථ කරගත හැකි වේ නම් එය අප ලද ජයග‍්‍රහනයක් බව කිව යුතුය. 

මෙම කන්දේ ආරම්භය ගැන ජනප‍්‍රවාදයේ එන මතවාද බොහොමයක් වේ. එයින් ප‍්‍රසිද්ධ මතය වන්නේ ‘වාල්මිකී’ විසින් රචිත රාමායනයේ සදහන් පුවතයි.

රාවණාගේ ලංකාපුරය හම්බන්තොට කුඩා රාවණා හා මහා රාවණා කොටු ආශ‍්‍රිතව පැවතියානම් සීතා කුමරිය පැහැරගෙනත් සගවා තැබීමේ පටන් යළිත් රාම සහ හනුමාන් ඇතුලු පිරිස සීතා කුමරිය සොයාගෙන ආපසු කැදවාගෙන යාම දක්වා සියලූ සිදුවීම් සිදු වුයේද එම රාවණා කොටු ආශ‍්‍රිතව බව අප පිළිගත යුතුය. රාම සහ රාවණා අතර ඇතිවු බිහිසුණු යුද්ධය ඇති වුයේද එහිදීය. 

රාමත් රාවණාත් අතර බිහිසුණු යුද්ධයත් ඇති නොවීමට සගවා තිබූ තැනින් සීතා කුමරිය සොයාගත් හනුමා සීතා කුමරියද රැුගෙන ආපසු දඹදිව බලා යාමට අවස්ථාව තිබුණි. සගවා තිබූ තැනින් සොයාගත් සීතා හනුමාන් පිටේ තබාගෙන ආරක්ෂිතව එක පිම්මෙන්ම දඹදිවට පනින්නදැයි හනුමා සීතාගෙන් විමසුවේය. එය නිවට ක‍්‍රියාවක් බව පැවසූ සීතා සිය සැමියා වන රාමාගේත් ඔහුගේ සොහොයුරා වන ලක්ෂ්මණගේත් බලපරාක‍්‍රමය දුෂ්ඨ රාවණාට පෙන්විය යුතුයැයි පවසා රාවණා සමග සටන් කර ඔහු පරාජය කර ආපසු පිටත්ව යෑමට සූදානමින් රාම ලක්ෂ්මන සමග ඔහුගේ වානර හමුදාව රැගෙන ඒමට සීතා හනුමාට අණ කළාය. රාම රාවණා අතර දරුණු සටනක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව වුයේ සීතාගේ මෙම ප‍්‍රකාශයයි.

 යුද්ධය අතරතුරේ දී වරෙක රාවණාට අවාසි විය. විටෙක රාමාට අවැසි විය. රාවණා යනු ඉතා බලසම්පන්න රජෙකි ‘දසිස්’ නම් වු ඔහුට හිස් දහයක් පැවති බව සදහන් වේ. එහෙත් ඇත්ත වශයෙන්ම නම් හිස් දසයක් තිබුණා නොව, ශක්තිවන්ත මිනිසුන් දස දෙනෙකුගේ එසේත් නොමැතිනම් ඇතෙකුගේ ශක්තියට සමාන ප‍්‍රබල ශක්තියක් ඔහුට පැවතිණි. රාම සහ හනුමාගේ වානර සේනාව කොතරම් බලසම්පන්න වුවත් යුද්ධයේ එක් අවස්ථාවක දි රාවණා සහ ඔහුගේ යක්ෂ ගෝත‍්‍රික හමුදාව ඉදිරියේ රාමාත්, ලක්ෂ්මණත් වානර හමුදාවෙන් බොහෝ පිරිසකුත් තුවාල ලැබු අතර ඇතැමෙක් මියගියහ. රාමාගේ පක්ෂයට අන්ත පරාජයක් අත්වෙමින් පැවතියදී රාමාගේ හමුදාවේ බලවතෙකු වු ජම්බුවාන්ට මහාවීර හනුමාන් පිළිබ`දව සිහිපත් වේ. 

මියගියවුන් නැවත ජීවත් කරවීමේ හෙවත් අමරණීය කරවීමේ ඖෂධ පිළිබදව දැන සිටියේ ජම්බුවාන්ය. එහෙත් එම ඖෂධ ඇත්තේ ජම්බුද්දීපයේ හිමාල කදුවැටියේ ය. රැය පහන්වීමට පළමුව මෙම ඖෂධ රැගෙන ඒමේ හැකියාව ඇත්තේ මහාවීර හනුමාට පමණී. එම ඖෂධවල බලයෙන් රාම ලක්ෂ්මන්ගේ පමණක් නොව මියගියවුන් බොහෝ ගණනකට යළි ප‍්‍රාණය ලබාදිය හැකි ය. එබැවින් අවශ්‍ය ඖෂධ පිළිබදව උපදෙස් ලබාගත් හනුමා එක පින්මෙන් දඹදිවට ගොස්, එහි හිමාල කදුවැටියේ ඖෂධ වනාන්තරයට පවිිසෙයි. අවාසනාවට මේ වන විට ගෙන යා යුතු ඖෂධවල නම් හනුමාන්ට අමතක විය. ඒවා මතක්කරමින් ඉන්නට කාලය නොවේ. රැය පහන්වීමට මත්තෙන් ඖෂධ රැගෙන යළි ලංකාපුරයට යා යුතුය. එසේනම් කළයුතු එකම දේ ඖෂධ වනාන්තරය ගලවාගෙන නැවත ලංකාපුරයට යෑමයි. ඖෂධ වනාන්තරයේ ඒ මේ අත සැරිසැරීමේදී ප‍්‍රබල ඖෂධවල සුවද ආග‍්‍රහණය වීමෙන් හනුමාගේ බලය හා ශක්තිය තවත් දහස්ගුණයකින් වර්ධනය විය. 

ලොකු හො කුඩා කරගත හැකි හනුමාන්ගේ ශරීරයේ විශාලත්වය යොදුන් හැත්තෑවකි. හනුමාන් ඖෂධ වනාන්තරය අත පිට තබාගෙන ලංකාවට එයි. එම ඖෂධ බලයෙන් රාම ලක්ෂ්මණ හා ඔහුන්ගේ හමුදාව සුවය ලබයි. දැන් හනුමාන් ඖෂධ වනාන්තරය හිමාලයට ගෙන ගොස් එය තිබුණු තැනට පෙර පැවති අයුරින්ම පිහිටුවිය යුතුය. එසේ පිහිටුවීම සදහා ගුවනින් රැගෙන යන මොහොතේ ඖෂධ වනාන්තරයේ කොටසක් කැඞී මහපොළව මත පතිත විය. එය පතිත වූයේ ගාල්ලේ මුහුද අද්දරට ය. රූමස්සල කන්ද වූයේ එසේ පොළවට පතිත වූ කොටසයි. මෙම කොටස උණාවැටුන හෙයින් උණවටුන නමින් රූමස්සල අවට ප‍්‍රදේශය හදුන්වයි. 

රූමස්සල වැනි කන්දක් එම ස්ථානයේ පිහිටීම මවිතකරය. එය එම ස්ථානයට ආගන්තුකව පැමිණි කන්දක් වුවත් දුර්ලභ ඝණයේ ශාක ඖෂධ 150 කට වැඩි ප‍්‍රමාණයක් එහි පැවතීමෙන් හනුමාන් ගෙන ගිය ඖෂධ වනාන්තරයේ කැඞී වැටුණු කොටස ලෙස හදුන්වන්නට ගැමියන් පෙළඹුණහ. රූමස්සල කන්ද පිළිබද ජනප‍්‍රවාදය එලෙසින්ය. 

මෙම කතාව සිහියට නගන්නට ඉදිකරන ලද විශාල හනුමා ප‍්‍රතිමාවක් රූමස්සල කන්දේ ඇති ජපන් බෞද්ධ විහාරයේ දක්නට ලැබේ. එහි දක්නට ඇත්තේ එක් අතකින් යගදාවත්, අනෙක් අතින් කදුවැටියත් ගෙන සිටින අයුරුයි.
                                               
                                                      
අතීතයේ මෙම ප‍්‍රදේශයේ යෝගී ඍෂිවරුන් වාසය කල බවටද මතයක් පවතී. එහි පැවති ජපන් සාම චෛත්‍යත් විහාරයත් කාගේත් සිත් ඇද ගන්නා ස්ථානයකි. එහි චෛත්‍ය මව වෙත නැගී බැලූ විට පෙනෙන දර්ශනය ඉතාමත් සිත්ගන්නා සුලුය. එය සැබැවින්ම සිත නිවන ස්ථානයකි. එහි බුදු මැදුර ජපන් සංස්කෘතිය අනුව බුදුන් වැදීම සිදු කරන අතර, අනතුරුව විශාල බෙරයක්ද වාදනය කරනු ලබයි.

                                               

                                       

ලෝක යුධ සමයේ සතුරු නැව් ගල් පර වල හප්පා විනාශ කිරීමට ව්‍යාජ පහන් කණුවක්ද රූමස්සල පිහිටුවා ඇත. වසර 1875 දී ලන්දේසීන් ඉදිකල මෙය බර්ටන් කණුව ලෙස නම් කර ඇත. ඒ එය ඉදිකල අග බර්ටන් නම් පුද්ගලයා වෙනුවෙන් විය හැකිය. පසුව බි‍්‍රතාන්‍ය ජාතිකයෝ එය තරමක් වැඩි දියුණු කළහ. 

මෙසේ රූමස්සල ගැන කියවෙන ජනප‍්‍රවාද හා ජනශ‍්‍රැතිය පිළිබද රාමායනයේ සදහන් පුරාවෘත්ත කතාව විශ්වාස නොකරන ඇතැම් පිරිස් සිටිති. කෙසේ වුවද ඓතිහාසික මෙන්ම වටිනා ශාක ඖෂධ වලින් සමන්විත ආකර්ශණීය වෙරළ තීරයක් හිමි රූමස්සල පරිසර පද්ධතිය ආරක්ෂා කළ යුතුය. මෙය ලෝක උරුමයකි. එහි ඇති සුන්දරත්වය ප‍්‍රදීපා ධර්මදාස ගායන ශීල්පිනියගේ ‘සත්‍යාංගනා’ සංයුක්ත තැටියේ ඇතුලත්, ප‍්‍රමිත ආර් ලියනගේ පද රචනය කළ ‘ගිරා නිලට පෙම් බ`දින’ ගීතයේ ඇතුලත් ය. 

                                            ‘‘ගිරා නිලට පෙම් බදිනා
                                               සිහිලැල් පන නල වඩනා 
                                               අමයුරු සුව ඔසු රකිනා 
                                               රූමස්සල රුවැත්තියේ   

                                                            ගාලූ කොටු පවුර නැග එන 
                                                            ලවණ පිරි කදුලු සුවදට 
                                                            හැමදාමත් ලෙන්ගතු වන 
                                                            රූමස්සල රුවැත්තියේ

                                                                         ගිං ගගටත් කිරි එරවන 
                                                                         සිංහරාජ මෑණියන්ට 
                                                                         කවදාවත් වින නොකටින
                                                                         රූමස්සල රුවැත්තියේ ”



































































No comments:

Post a Comment

                                        රූමස්සල හා බැදි ජනශ‍්‍රැතිය හා ජනප‍්‍රවාද  රූමස්සල යනු ගාල්ල නගරයට නුදුරින් ගාල්ල මාතර ප‍්‍...